Popular Posts

ජපානයේ ප්‍රධාන දූපත් හතර


ජපානයේ භූමි ප්‍රමාණය මූලිකව විශාල දූපත් හතරක එකතුවකි. ප්‍රමාණය අනුව විශාලතම දුපත හොන්ෂු (本州) වන අතර විශාලත්වය අනුව අනෙක් දූපත් පිළිවෙලින් හොක්කයිදෝ(北海道), ක්යූෂු(九州) සහ ෂිකොකු(四国) වේ. ජනගහනය හා සංවර්ධනය අතින්ද හොන්ෂු දූපත ප්‍රධාන ස්ථානයක් හිමිකර ගනී.




හොන්ෂු (本州)  



ජපානයේ ප්‍රධාන නගර බොහොමයක් හොන්ෂු දූපත සතුව පිහිටා ඇත. ටෝකියෝ, ඕසකා, ක්යෝතෝ ප්‍රදේශයන් මෙම දූපතේ හරය ලෙස සලකන අතර එහි ජනගහනයෙන් 25% ක් ටෝකියෝ නගරය අවට වාසය කරයි. වර්ග කිලෝමීටර් 227,962 ක වපසරියක් පුරා හොන්ෂු දූපත පැතිරී පවතින අතර එය ලෝකයේ හත්වන විශාලතම දිවයිනයි. දිග ආසන්නව කිලෝමීටර් 1300 පමණ වේ. විවිධාකාර වූ භූ ලක්ෂණයන්ගෙන් සමන්විත මෙහි බොහෝ කඳුපන්ති දැකිය හැකි අතර ඇතැම් ඒවා යමහල් හෙවත් ගිනිකඳු වේ. උසම කන්ද ලෙස සැලකෙන ෆූජිසන්(富士山) ද යමහලකි. එහි උස මීටර් 3,776කි. ජපානයේ අනෙක් ප්‍රදේශවල මෙන්ම භූ කම්පන තත්ත්වයන් මෙම දිවයිනේද දැකගත හැක.


හොන්ෂු, කලාප 5 කට හා ප්‍රාන්ත/දිස්ත්‍රික්ක 34 කට වෙන් කර ඇත. එම කලාපයන්, තොහොකු(東北), කන්තො(関東), චුබු(中部), කන්සායි(関西) සහ චුගොකු(中国) වේ.




හොක්කයිදෝ (北海道)




දෙවන විශාලතම දිවයින ලෙස හොක්කයිදෝ වරග කිලෝමීටර් 83,453 ක් වූ භූමිභාගයක පැතිර පවතී. භූමි ප්‍රමාණය අනුව මෙහි ජනගහනය අඩු අගයක් පෙන්වන අතර එය 5,377,435කි (2016). ප්‍රධාන නගරය සප්පොරො(札幌市) වන අතර එය හොක්කයිදෝ දූපතෙ අගනගරයද වේ. හොන්ෂු දූපතට උතුරට වන්නට පිහිටා තිබෙන අතර දූපත් දෙක අතර ඇති ත්සුගරු(津軽) සමුද්‍ර සන්දියෙන් වෙන්ව පිහිටයි. කඳුකර හා යමහල් සහිත සානු මෙන්ම වෙරළබඩ තැනිතලා වලින් වටවී පවතී. ක්‍රියාකාරී මට්ටමේ ඇති යමහල් බොහොමයක් ඇති අතර උස වැඩිම ගිනිකන්ද ලෙස අසහි-දකෙ(旭岳) හැදින්වේ. එහි උස මීටර් 2,290 කි.


ජපානයේ උතුරුකරයට වන්නට පිහිටි නිසාම, ශීත දේශගුණයට ප්‍රසිද්ධියක් උසුලයි. ග්‍රීෂ්ම කලයට වුවද මෙහි ශීත දේශගුණය පවතින අතර ශීත ඍතුව වනවිට හිම හා අයිස් පතනය වේ.




ක්යුෂු (九州)




ජපානයේ තෙවැනියට විශාලතම දිවයින ලෙස ක්යුෂු හැදින්වේ. එහි භූමිය වර්ග කිලෝමීටර් 13,761 කි. ජනගහනය 12,970,479 කි. ක්යූෂු හි අර්ධ ශුෂ්ක දේශගුණයක් දක්නට ලැබෙන අතර එහි විවිධත්වයකින් යුත් කෘෂිකාර්මික නිෂ්පාදන දැකගත හැකි වේ. වී, තේ, දුම්කොළ, බතල හා සෝයා ඒ අතරින් ප්‍රධාන වේ. ක්යුෂු හි විශාලතම නගරය ෆුකුඔකා(福岡) වන අතර ප්‍රාන්ත/දිස්ත්‍රික්ක හතකට වෙන් කර ඇත. පරිපාලනයේ පහසුව සඳහා ඔකිනවා(沖縄) දූපතද එහි කොටසක් ලෙස සලකනු ලබයි. පැහැදිලිවම ක්යුෂු හි භූ ලක්ෂණ යමහල් හා සබැඳේ. ජපානයේ ක්‍රියාකාරීම ගිනිකන්ද වන අසෝසන් (阿蘇山) පිහිටා තිබෙන්නේද ක්යුෂු දිවහිනෙහි වන අතර උණුදිය උල්පත් රාශියක්ද දක්නට ලැබේ. උසම කන්ද ලෙස මීටර් 1,788 උසැති කුජු-සන්(九重山) හැඳින්වෙන අතර එයද සුපුරුදු පරිදි යමහලකි.




ෂිකොකු (四国)



ජපානයේ ප්‍රධාන දූපත් අතරින් කුඩාම දූපත ලෙස ෂිකොකු හැඳින්වේ. වර්ග කිලෝමීටර් 18,800 ක් වූ වපසරියක් පුරා පැතිරී ඇත. ප්‍රධාන දූපත අවට ඇති කුඩා කොදෙව් රාශියකින් වටවී ඇත. පිහිටීම, ක්යුෂු දූපතට නැගෙනහිරින් හා හොන්ෂු දූපතට දකුණින්ද පිහිටා තිබේ.  3,845,534 ක් වූ ජනගහනයක් (2015) මෙහි වාසය කරයි. ෂිකොකු හි විශාලතම නගරය ලෙස මත්සුයමා (松山)හැඳින්වෙන අතර පරිපාලන ප්‍රාන්ත/දිස්ත්‍රික් 4 කට වෙන්කර ඇත. මෙහිදී ද විවිධ භූ ලක්ෂණ දැකිය හැකි අතර කඳුකරයන් සහිත දිවයිනෙහි දකුණු පස මෙන්ම කුඩා තැනිතලා මිටියාවත් කොචි(高知) ආසන්න පැසිෆික් වෙරළබඩ ප්‍රදේශයේ දක්නට ලැබේ.



උසම ස්ථානය ලෙස ඉෂිද්සුචි-සන් (石鎚山)  නම් වන අතර එය තරමක් 'හන්තාන කටුසු කොන්ද' මෙන් හැඩයක් ගනී. එහි උස මීටර් 1,982 කි. ක්යුෂු හි මෙන්ම, ෂිකොකු දූපතෙහිද අර්ධ ශුෂ්ක දේශගුණයක් පවතී. උතුරුකරයේ පලතුරු වගා කෙරෙන අතරතුර අතීතයේ සිට පැවත එන සරුසාර වෙරළබඩ තැනිතලා බිම් දැකිය හැක.


No comments:

Post a Comment